කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය

Ministry of Women & Child Affairs and Social Security

மகளிர், சிறுவர் அலுவல்கள் மற்றும் சமூக பாதுகாப்பு அமைச்ச

මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ජාතික සතිය -2019

ශාරීරික, මනෝ සමාජයීය සහ ප්‍රජානන සංවර්ධනයෙන් යුතු ශ්‍රී ලාංකේය මුල් ළමාවිය දරු පරපුරක් බිහි කිරීම දැක්ම කොටගත් ළමා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකාව තුළ මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන සුවිශේෂී වැඩසටහන් ඒකරාශී කර ගනිමින් එම වැඩසටහන් වඩාත් පුළුල් ලෙස ජනතාව කරා රැගෙන යාමේ අරමුණින් 2010 වර්ෂයේ දී කැබිණට් මණ්ඩල අනුමැතියක් සහිතව මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ජාතික සතිය ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව එම වසරේ සිට සෑම වර්ෂයක දී ම මෙම ජාතික සතිය තුළ මුල් ළමාවිය විෂය හා සම්බන්ධ වගකිව යුතු සියලු පාර්ශවයන් ඒකරාශී කර ගනිමින්, මුල් ළමාවියේ දරුවන්ගේ ආරක්ෂාව , රැකවරණය සහ සංවර්ධනය ඉලක්ක කර ගත් වැඩසටහන් ජාතික, පළාත්, දිස්ත්‍රික්, ප්‍රාදේශීය සහ ග්‍රාමීය මට්ටමින් පැවැත්වීමට ළමා ලේකම් කාර්යාලය කටයුතු කරනු ලබයි. ඒ අනුව මෙවර ද ළමා ලේකම් කාර්යාලය මගින් “හැම කල් රැකගත යුතු - දරුවන් වෙයි මිණිමුතු ” යන තේමාව ඔස්සේ මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ජාතික සතිය - 2019 ජූලි මස 14-20 දක්වා දීප ව්‍යාප්තව සැමරීම සිදු කරනු ලැබේ. මෙවර ජාතික සතියේ දී “ මුල් ළමාවිය දරුවන්ගේ පෞර්ෂ සංවර්ධනය උදෙසා දෙමව්පියන්ගෙන් සිදුවන බලපෑම” පිළිබඳව පුළුල්ව සාකාච්ජා කිරීමටත් ඒ පිළිබඳව ප්‍රජාව දැනුම්වත් කිරීමටත් ළමා ලේකම් කාර්යාලය අපේක්ෂා කරයි.

මෙවර ජාතික සතියේ වැඩසටහන් විස්තරය

පළමු දින

ජාතික සතියෙහි පළමු දිනය මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන/පෙර පාසල් ගුරුවරිවන් දැනුවත් කිරීම සඳහා වෙන් කර ඇත. මෙවර ජාතික වැඩසටහන කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සමගින් ළමා ලේකම් කාර්යාලය ඒකාබද්ධව සංවිධානය කරන අතර ඒ සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පෙර පාසල් ගුරුවරියන් 300 දෙනෙකු සහභාගී වීමට නියමිතය. “මුල් ළමාවිය දරුවාගේ පෞර්ෂ සංවර්ධනය කෙරෙහි දෙමාපිය ක්‍රියාකාරකම් වල බලපෑම” පිළිබඳව පෙර පාසල් ගුරුවරියන්ගේ දැනුම වර්ධනය කිරීම ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක මෙම වැඩසටහන සඳහා, උපදේශක සුබෝධිනී දිසානායක මහත්මිය විසින් සම්පත්දායකත්වය ලබාදීමට නියමිතය.

දෙවන දිනය

මුල් ළමාවියේ දරුවන් උදෙසා වෙන්වන මෙවර ජාතික සතියේ දෙවන දින වැඩසටහන කළුතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වේ. මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය නියෝජනය වන පරිදි මුල් ළමාවියේ දරුවන් 100 දෙනෙකු සහභාගී කරගනිමින් මතුගම සරණ තිස්ස කණිෂ්ඨ විද්‍යාල භූමියෙහි පැවැත්වීමට නියමිතය මෙම වැඩසටහන පෙර පාසල් දරුවන්ගේ සෞන්දර්යාත්මක කුසලතාවයන් ඔප්නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරේ.

තෙවන දිනය

ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය ග්‍රාමීය මට්ටම කරා ගෙනයාමේ අරමුණින් ළමා ලේකම් කාර්යාලය මගින් මුල් ළමාවිය ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය ආරම්භ කොට ඇත. මෙහි දී මුල් ළමාවිය සංවර්ධනය උදෙසා විශේෂ අවධානයක් යොමු කල යුතු ග්‍රාම නිලධාරී වසම් තොරා ගනිමින් මුල් ළමාවිය ආදර්ශ ගම්මාන ස්ථාපිත කිරීම සිදු කෙරේ. ඒ අනුව ජාතික සතියෙහි තුන්වන දින වැඩසටහන මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ආදර්ශ ගම්මාන තුල සිටින සියලු ම ක්‍රියාකාරී කණ්ඩායම් දැනුවත් කිරීම වෙනුවෙන් වෙන් කර ඇත. මෙවර ජාතික වැඩසටහන රත්නපුර දිස්ත්‍රික්කයේ බළංගොඩ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි විශාකා මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථානය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට නියමිතය.

සිව්වන දින

ජාතික සතියෙහි සිව්වන දිනය මුල් ළමාවියේ දරුවන් සිටින දෙමාපියන් දැනුවත් කිරීම සඳහා වෙන්ව ඇති අතර ජාතික වැඩසටහන රාජ්‍ය සේවයෙහි නියුතු නිලධාරීන් ඉලක්ක කරගනිමින් සෙත්සිරිපාය දෙවන අදියර ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතය. ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශක, මනෝ චිකිත්සක , වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා විසින් මෙම වැඩසටහන උදෙසා සම්පත්දායකත්වය දක්වන අතර “ මුල් ළමාවිය දරුවාගේ පෞර්ෂ සංවර්ධනය කෙරෙහි දෙමාපිය ක්‍රියාකාරකම් වල බලපෑම ” පිළිබඳව දෙමාපියන් දැනුවත් කිරීමට නියමිතය.

පස්වන දිනය

ජාතික සතියෙහි පස්වන දින මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳව කටයුතු කරන සියලු ම කණ්ඩායම් දැනුවත් කිරීම සඳහා වෙන්කොට ඇත. මෙවර ජාතික වැඩසටහන සෙත්සිරිපාය දෙවන අදියර ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිත අතර මෙම වැඩසටහන යටතේ රත්නපුර, ගාල්ල,කෑගල්ල,කොළඹ,කලුතර සහ ගම්පහ දිස්ත්‍රික්කයන්හි සියලු ම ප්‍රාදේශීය මට්ටමේ මුල් ළමාවිය සංවර්ධන නිලධාරීන්, මුල් ළමාවිය දිස්ත්‍රික් සම්බන්ධීකාරක නිලධාරීන්, බස්නාහිර පළාත් පෙර පාසල් ප්‍රඥප්තිය ක්‍රියාත්මක කිරීමේ ඒකකයෙහි සියලුම නිලධාරීන් සහ අමාත්‍යාංශ නිලධාරීන් දැනුම්වත් කිරීමට නියමිතය. උපදේශක සුබෝධිනී දිසානායක මහත්මිය විසින් මෙම වැඩසටහන සඳහා සම්පත්දායකත්වය ලබාදීමට නියමිතය.

හයවන දිනය

ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳව කටයුතු කරන ප්‍රතිපත්ති සම්පාදකයින් සඳහා වෙන් වන ජාතික සතියේ තෙවන දින මුල් ළමාවිය සංවර්ධනයේ වැදගත්කම මෙන් ම එම වැඩසටහන් වලට අදාල සේවාවන් සහ මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමේ දී ඊට වැඩි ප්‍රමුඛතාවයක් ලබාදීම සඳහාත් එම ප්‍රතිපත්ති සම්පාදකයින් දැනුවත් කිරීම සඳහාත් වෙන්කර ඇත. මෙවර ප්‍රතිපත්ති සම්පාදකයින්ගේ දින වැඩසටහන සෙත්සිරිපාය දෙවන අදියර , මුල් ළමාවිය සංවර්ධන ව්‍යාපෘති ශ්‍රවණාගාරයෙහි පැවැත්වීමට නියමිත අතර මෙහිදී මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ජාතික සම්බන්ධීකරණ කමිටුව සඳහා නව පත්වීම් ප්‍රදානය කිරීමට නියමිතය .

හත්වන දිනය

මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධන විෂය සම්බන්ධව තරුණ කණ්ඩායම්, ගැබිණි මව්වරුන් දැනුවත් කිරීම සඳහා ජාතික සතියෙහි පස් වන දින වෙන්ව ඇති අතර ජාතික වැඩසටහන කොළඹ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් කාසල් වීදියේ කාන්තා රෝහලෙහි පැවැත්වේ. මෙම වැඩසටහන සඳහා ගර්භනී මව්වරුන් සහ ඔවුනගේ ස්වාමි පුර්ෂයන්ද සමග 100 ක පිරිසක් සහභාගී වන අතර ඔවුන් සඳහා දැනුවත් කිරීමේ වැඩසටහනක් සහ සෞන්දර්යාත්මක වැඩසටහනක් පැවැත්වීමට නියමිතය.

Posted in Highlights, Ministry News on Jul 04, 2019