කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය

Ministry of Women & Child Affairs and Social Security

மகளிர், சிறுவர் அலுவல்கள் மற்றும் சமூக பாதுகாப்பு அமைச்ச

අමාත්‍යාංශ මට්ටමින් ස්ත්‍රී පුරුෂ සමාජභාවීය මූලප්‍රවාහකරණ වැඩසටහන් ස්ථාපිත කිරීම. නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ දැනුවත් කිරීමේ වැඩසටහන - 2018.06.11

අමාත්‍යාංශ මට්ටමින් ස්ත්‍රී පුරුෂ සමාජභාවීය මූලප්‍රවාහකරණ වැඩසටහන් ස්ථාපිත කිරිමේ වැඩසටහනට අදාළ ව අමාත්‍ය මණ්ඩලය විසින් ලබා දුන් තීරණය පරිදි සියලු අමාත්‍යාංශයන් ක්‍රියා කල යුතු ආකාරය පිළිබඳ ව අප අමාත්‍යාංශය විසින් 2017.01.27 වන දින 01/2017 දරණ චක්‍රලේඛය නිකුත් කරන ලදි.

ඒ අනුව, මෙම වැඩසටහන සඳහා සියළු අමාත්‍යාංශයන් හි තීරණ ගත හැකි මට්ටමේ සිටින නිලධාරියෙකු / නිලධාරිනියක කේන්ද්‍ර නිලධාරී ලෙස පත් කර ගන්නා ලදි. මෙම විෂය පිළිබඳ කේන්ද්‍ර නිලධාරීන් පමණක් දැනුවත් කිරීම මෙම කටයුතු සාර්ථක වීමට ප්‍රමාණවත් නොවේ. එබැවින්, එක් එක් අමාත්‍යාංශයන් හි තීරණ ගැනීමේ කාර්යයේ නියුතු ඉහළ විධායක මට්ටමේ නිලධාරීන් මෙම විෂය පිළිබඳ සංවේදී කිරීම අත්‍යාවශ්‍ය කරුණක් විය.

ඒ අනුව, අප අමාත්‍යාංශය විසින් සියලුම අමාත්‍යාංශයන්හි සේවයේ නියුතු සියළු නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක් පැවැත් වීමට සැලසුම් සකස් කරන ලදි. ඒ අනුව එහි ප්‍රථම දැනුවත් කිරීමේ වැඩසටහන නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ලේකම්තුමන් සහ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් 2018.06.11 වන දින පෙ. ව. 9.00 සිට ප. ව. 2.00 දක්වා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ දී පවත්වන ලදි. ඒ සඳහා නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ලේකම්තුමන් ද එම අමාත්‍යාංශය හා අනුබද්ධ ආයතන ප්‍රධානීන් මෙන්ම අමාත්‍යාංශ නිලධාරීන් සහභාගී වන ලදි. ස්ත්‍රී පුරුෂ ෂමාජභාවීය සංවේදීතාවය ඇති කිරීම උදෙසා අප අමාත්‍යාංශය විසින් දියත් කෙරෙන ස්ත්‍රී පුරුෂ සමාජභාවය ඇතුළත් ගීතමය වැඩසටහන ද මෙහි විශේෂ අවස්ථාවක් විය.

ස්ත්‍රී පුරුෂ සමාජභාවීය මූලප්‍රවාහකරණ වැඩසටහන නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශය තුළ ක්‍රියාත්මක් කරන්නේ කොසේ ද? යන්න පිළිබඳ දේශනයක් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කමලා ලියනගේ මහත්මිය විසින් සිදු කරන ලදි. එසේම, ඉදිරි වර්ෂයේ දී සකස් කරනු ලබන නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ වාර්ෂික ක්‍රියාකාරී සැලසුමෙහි අන්තර්ගත විය යුතු කරුණු සහ නිවාස ක්ෂේත්‍රයේ දී ස්ත්‍රී පුරුෂ සමාජභාවීය අයවැයකරණය ඒ ඒ කාර්යයන් සඳහා අඩංගු කරගන්නේ කෙසේද?, වාර්ෂික ක්‍රියාකාරී සැලසුම් සකස් කිරීමේ දී ස්ත්‍රී පුරුෂ සමාජභාවය සංවේදී වන අයුරින් ප්‍රධාන කාර්ය සාධක දර්ශක (KPI) සකස් කර ගන්නේ කෙසේද ? යන්න පිළිබඳව දේශනය උපදේශක ශ්‍රියාණි පෙරේරා මහත්මිය විසින් සිදු කරන ලදි. අමාත්‍යාංශ මට්ටමින් ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ හිංසනයන් තුරන් කිරීමේ කමිටුව ස්ථාපිත කිරීමට අදාළ දේශනය ජාතික කාන්තා කමිටුවේ සභාපති ස්වර්ණා සුමනසේකර මහත්මිය විසින් සිදු කරන ලදි.

නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ පවත්වන ලද මෙම වැඩසටහනෙහි තාක්ෂණික සහ සම්පත්දායකයන් සඳහා වූ මූල්‍යමය දායකත්වය USAID ආයතනයේ ශ්‍රී ලංකාව තුළ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය පාලනය සහ වගවීම සවිමත් කිරීමේ ව්‍යාපෘතිය (SDGAP) මඟින් සිදු කරන ලදි.

Posted in Ministry News on Jun 20, 2018