කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය

Ministry of Women & Child Affairs and Social Security

மகளிர், சிறுவர் அலுவல்கள் மற்றும் சமூக பாதுகாப்பு அமைச்ச

කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ අභිනව ලේකම්තුමිය ලෙස අශෝකා අලවත්ත මැතිණිය ධූරයේ වැඩ භාර ගැනීම 2018.04.20 වන දින අමාත්‍යාංශ පරිශ්‍රයේදී උත්සවාකාරයෙන් සිදු කෙරිණි. ආගමික චාරිත්‍රානුකූලව සිදු කරන ලද මෙම සුභ අවස්ථාව සඳහා ප්‍රභූන්, රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධානවල ප්‍රධානීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි විය.

ලේකම් ධූරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ලේකම්තුමිය පැවසුවේ ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින 52% ක් වන කාන්තාවන්ට එම පවුල්වල දරුවන්ට හිංසනයෙන් තොරව ජීවත්වීම සඳහා ඔවුනගේ අනන්‍යතාවය සහ ප්‍රෞඩත්වය මෙන්ම අභිමානය ඔප් නැංවන අයුරින් සමාජය සංවේදී කිරීම හා සමාජය තුළ ප්‍රබෝධයක් ඇති කිරීම තුළින් සමාජයට විශාල මෙහෙවරක් ඉටුකිරීම සිය ප්‍රධානතම අරමුණ බවයි. මෙහිදී ශ්‍රී ලංකා රජය විසින් අත්සන් තබා ඇති ජාත්‍යන්තර ප්‍රඥප්තීන්ට අනුකූලව ක්‍රියාකිරීමට බලාපොරොත්තු වන බව එතුමිය විසින් දැක්වූ අතර, එමගින් කාන්තාවන් හා ළමුන් වෙනුවෙන් ඔවුනට වඩාත් හිතකාමී, තෘප්තිමත් සමාජයක් ස්ථාපිත කිරීමට කටයුතු කිරීම සිය අපේක්ෂාව බව පෙන්වා දෙන ලදී. එමගින් සුවිශාල ආර්ථීක සංවර්ධනයක් ඇති කිරීමටද හැකි බව එතුමිය විසින් තවදුරටත් දක්වන ලදී.

එසේම තමා මෙම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ධූරයේ වසර 08 සේවා පළපුරුද්දක් සහිත වන බැවින් මෙම තත්ත්වය ඇති කිරීම සඳහා කටයුතු කිරිමට එම පළපුරුද්ද ඉතා වැදගත් ලෙස යොදාගත හැකි අතර, ප්‍රාදේශීය පාලනයේ සේම දෙපාර්තමේන්තු පරිපාලනයේ ලද අත්දැකීම්ද මෙම කර්තව්‍යය සඳහා ප්‍රයෝජනවත් කරගැනිමට බලාපොරොත්තු වන බව එතුමිය විසින් පෙන්වා දෙන ලදී.

තවද, අමාත්‍යාංශය මගින් දිවයින පුරා පිහිටි ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පිහිටුවා ඇති කාන්තා හා ළමා ඒකක තුළින් දැනට වඩා පුළුල් හා ඵලදායී සේවාවක් ඉටුකිරීම සඳහා වැඩසටහන් ගණනාවක් දියත් කිරීමට අපේක්ෂිත බවද , එමගින් කාන්තා හා ළමා පරපුරට හිතකර සමාජයක් බිහිකිරීම සිය අභිප්‍රාය බවද ඒ අනුව රජයේ දැවැන්ත වැඩළිවෙලක් වන දිළිඳුකම පිටු දැකීමත් තිරසාර සංවර්ධනය සඳහා ඒ තුළින් තම මෙහෙවෙර ඉටු කිරීමට අදහස් කරන බවත් ඇය තවදුරටත් පවසන ලදී.

Posted in Ministry News on Apr 26, 2018