සතුටු සිනා පිරි සුරක්ෂිත ගමනක් - දැනුවත් කිරීමේ වැඩමුළුව පොදු ප්‍රවාහන සේවය තුල සිදුවන ලිංගික හිංසනය වැලැක්වීම
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය තවත් අමාත්‍යාංශ 9 ක් හා එක්ව සකස් කරන ලද ශ්‍රී ලංකාවේ ස්ත්‍රී පුරුෂ සමාජභාවය හා ලිංගිකත්වය මත පදනම් වූ හිංසනයන් සඳහා වන ප්‍රතිපත්තිමය රාමුව සහ ජාතික ක්‍රියාකාරී සැලැස්ම 2016 - 2020 වැඩසටහනට අනුකූලව කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය, ජාතික කාන්තා කමිටුව, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සහ ක්‍රියාකාරී පළාත් බස්නාහිර පළාත් කණ්ඩායම (V-Force) ඒකාබද්ධව සංවිධානය කරන ලද පොදු ප්‍රවාහන සේවය තුල සිදුවන ලිංගික හිංසන වැලැක්වීමේ දැනුවත් කිරීමේ වැඩමුළුවක් 2018 ජනවාරි 25 දින මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ශ්‍රවණාගාරයේ දී පවත්වන ලදී.
මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා බස්නාහිර පළාතේ බස් රියදුරු මහත්වරුන් සහ කොන්දොස්තර මහත්වරුන් 200 ක් පමණ සහභාගී වූහ. විශේෂයෙන්ම පොදු ප්‍රවාහන සේවයේ හිංසනය වැලැක්වීම සඳහා මොවුන්ගේ මැදිහත්වීම අතිශයින්ම වැදගත් වන අතර සංවේදී ඇසකින් මෙම ගැටලු දෙස බැලීම සඳහා ඔවුන් දැනුවත් කරන ලදී.
මනෝ විද්‍යාත්මක, සමාජ විද්‍යාත්මක මෙන්ම නීතිමය ප්‍රවේශයන් පිළිබඳ අවධානය යොමු කරමින් සිදු කරන ලද විවිධ දේශනයන්ගෙන් වැඩසටහන සමන්විත විය. ආචාර්ය සුලෝචනා සිගේරා මහත්මිය, උපදේශන නිලධාරී නදීශා අමරසිංහ මහත්මිය, වීරසිංහම් මහතා ,ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාවේ නීතිඥ චරිත කුලතුංග මහතා, පොලිස් ළමා හා කාන්තා කාර්යංශයේ අධ්‍යක්ෂක ලංකා රාජිනී මහත්මිය යන පිරිස වැඩසටහන සඳහා සම්පත් දායකත්වය ලබා දෙන ලදී.
කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අශෝකා අලවත්ත මහත්මිය,ජාතික කාන්තා කමිටුවේ සභාපති සිවර්ණා සුමනසේකර මහත්මිය, ජාතික කාන්තා කමිටුවේ විධායක අධ්‍යක්ෂ අනුලා ඉන්ද්‍රානි මහත්මිය සහ බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සාමාන්‍යාධිකාරී ජගත් පෙරේරා මහත්මා යන මහත්ම මහත්මීන්ගේ ප්‍රධානත්වයෙන් වැඩසටහන පවත්වන ලදී.