මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ජාතික සතිය -2018
ශ්‍රී ලංකාව තුළ මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය ඉලක්ක කර ගනිමින් ක්‍රියාත්මක වන සුවිශේෂී වැඩසටහන් ඒකරාශී කර ගනිමින් එම වැඩසටහන් වඩාත් පුළුල් ලෙස ජනතාව කරා රැගෙන යාමේ අරමුණින් 2010 වර්ෂයේ දී කැබිණට් මණ්ඩල අනුමැතියක් සහිතව මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ජාතික සතිය ප්‍රකාශයට පත් කරන ලදී. ඒ අනුව එම වසරේ සිට සෑම වර්ෂයක දී ම මෙම ජාතික සතිය තුළ මුල් ළමාවිය විෂය හා සම්බන්ධ වගකිව යුතු සියලු පාර්ශවයන් ඒකරාශී කර ගනිමින්, මුල් ළමාවියේ දරුවන්ගේ ආරක්ෂාව , රැකවරණය සහ සංවර්ධනය ඉලක්ක කර ගත් වැඩසටහන් ජාතික, පළාත්, දිස්ත්‍රික්, ප්‍රාදේශීය සහ ග්‍රාමීය මට්ටමින් පැවැත්වීමට ළමා ලේකම් කාර්යාලය කටයුතු කරනු ලබයි. ඒ අනුව මෙවර ද ළමා ලේකම් කාර්යාලය මගින් “හෙට පිබිදෙන ළමා කැළට - මග සරසමු පෙර ගමනට ” යන තේමාව ඔස්සේ මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳ ජාතික සතිය - 2018 ජූලි මස 14-20 දක්වා දීප ව්‍යාප්තව සැමරීම සිදු කරන ලදී. මෙවර ජාතික සතියේ දී “ මුල් ළමාවිය දරුවන්ගේ මනෝ සමාජයීය සංවර්ධනය කෙරෙහි විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන් මගින් සිදුවන බලපෑම” පිළිබඳව පුළුල්ව සාකාච්ජා කිරීමට සහ ඒ පිළිබඳව ප්‍රජාව දැනුම්වත් කිරීමටත් ළමා ලේකම් කාර්යාලය කටයුතු කරන ලදී.
- මෙවර ජාතික සතියේ වැඩසටහන් විස්තරය
පළමු දිනය
මුල් ළමාවියේ දරුවන් උදෙසා වෙන්වන ජාතික සතියේ ප්‍රථම දින වැඩසටහන පුත්තලම දිස්ත්‍රික්කයේ නවගත්තේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය කේන්ද්‍ර කරගනිමින් පවත්වන ලද අතර ඒ සඳහා මුල් ළමාවියේ දරුවන් 500 දෙනෙකු සහභාගීවිය. මෙම වැඩසටහන පෙර පාසල් දරුවන්ගේ සෞන්දර්යාත්මක කුසලතාවයන් ඔප්නැංවීමේ අරමුණින් ක්‍රියාත්මක කරන ලදී.
දෙවන දිනය
ජාතික සතියෙහි දෙවන දිනය මුල් ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන/පෙර පාසල් ගුරුවරිවන් දැනුවත් කිරීම සඳහා වෙන් කර ඇත. මෙවර ජාතික වැඩසටහන රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සමගින් ළමා ලේකම් කාර්යාලය ඒකාබද්ධව සංවිධානය කරන ලද අතර ඒ සඳහා රත්නපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පෙර පාසල් ගුරුවරියන් 500 දෙනෙකු සහභාගී වීය. . “ මුල් ළමාවිය දරුවන්ගේ මනෝ සමාජයීය සංවර්ධනය කෙරෙහි විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍යයන් මගින් සිදුවන බලපෑම” පිළිබඳව පෙර පාසල් ගුරුවරියන්ගේ දැනුම වර්ධනය කිරීම ඉලක්ක කරගනිමින් ක්‍රියාත්මක මෙම වැඩසටහන සඳහා ළමා ක්ෂේත්‍රෙයහි කටයුතු කරන විශේෂඥ වෛද්‍යවරුන් විසින් සම්පත්දායකත්වය සපයන ලදී.
තෙවන දිනය
ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳව කටයුතු කරන ප්‍රතිපත්ති සම්පාදකයින් සඳහා වෙන් වන ජාතික සතියේ තෙවන දින වැඩසටහන ළමා ලේකම් කාර්යාලය, යුනිසෙෆ් ආයතනය සමගින් ඒකාබද්ධව කොළඹ සිනමන් ලේක් සයිඩ් හෝටලයේ දී පවත්වන ලදී. මුල් ළමාවිය සංවර්ධනයේ වැදගත්කම මෙන් ම එම වැඩසටහන් වලට අදාල සේවාවන් සහ මූල්‍ය ප්‍රතිපාදන වෙන් කිරීමේ දී ඊට වැඩි ප්‍රමුඛතාවයක් ලබාදීම සඳහා එම ප්‍රතිපත්ති සම්පාදකයින් දැනුවත් කිරීම මෙහිදී සිදු කරන ලදී.
සිව්වන දිනය
මුල් ළමාවියේ දරුවන් සිටින දෙමාපියන් දැනුවත් කිරීම සඳහා වෙන්වන ජාතික සතියෙහි සිව්වන දිනය මෙවර රාජ්‍ය සේවයෙහි නියුතු නිලධාරීන් ඉලක්ක කරගනිමින් සෙත්සිරිපාය දෙවන අදියර ශ්‍රවණාගාරයේදී පැවැත්විය. ජ්‍යෙෂ්ඨ මනෝ උපදේශක, මනෝ චිකිත්සක , වෛද්‍ය චමින්ද වීරසිරිවර්ධන මහතා විසින් සම්පත්දායකත්වය සපයන ලද මෙම වැඩසටහන මගින් මුල් ළමාවියේ දරුවාගේ බුද්ධි වර්ධනය සම්බන්ධව ස්නායු මනෝ විද්‍යාත්මක වශයෙන් ඇති වැදගත්කම සාකච්ජා කරන ලදී.
පස්වන දිනය
මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධන විෂය සම්බන්ධව තරුණ කණ්ඩායම්, ගැබිණි මව්වරුන් දැනුවත් කිරීම සඳහා ජාතික සතියෙහි පස් වන දින වෙන්ව ඇති අතර මෙවර ජාතික වැඩසටහන මාතර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් සෞන්දර්යාත්මක වැඩසටහනක් ලෙසින් පැවැත්වීමට කටයුතු කරන ලදී. මේ සඳහා ගැබිනි මව්වරුන් සහ ඔවුනගේ ස්වාමි පුර්ෂයන් සමගින් 250 කණ්ඩායමක් සහභාගී විය.
හයවන දිනය ම ුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය පිළිබඳව කටයුතු කරන සියලු ම කණ්ඩායම් දැනුවත් කිරීම සඳහා වෙන්කොට ඇති හයවන දින ජාතික වැඩසටහන මාතලේ දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර පවත්වන ලදී. ළමා සංවර්ධනයට මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය මගින් සිදුවන බලපෑම සහ ඒ තුලින් දරුවන් මුදවා ගැනීම පිළිබඳව මාතලේ දිස්ත්‍රික්කයේ මුල් ළමාවිය විෂය ක්ෂේත්‍රයෙහි නියැලුනු සියලු ම කණ්ඩායම් දැනුවත් කිරීම මෙහි දී සිදුවිය.
හත්වන දිනය
ශ්‍රී ලංකාවේ මුල් ළමාවිය රැකවරණය හා සංවර්ධනය ග්‍රාමීය මට්ටම කරා ගෙනයාමේ අරමුණින් ළමා ලේකම් කාර්යාලය මගින් මුල් ළමාවිය ආදර්ශ ගම්මාන ව්‍යාපෘතිය ආරම්භ කොට ඇත. මෙහි දී මුල් ළමාවිය සංවර්ධනය උදෙසා විශේෂ අවධානයක් යොමු කල යුතු ග්‍රාම නිලධාරී වසම් තොරා ගනිමින් මුල් ළමාවිය ආදර්ශ ගම්මාන ස්ථාපිත කිරීම සිදු කෙරේ. ඒ අනුව ජාතික සතියෙහි සත්වන දින වැඩසටහන මුල් ළමාවිය සංවර්ධනය පිළිබඳ ආදර්ශ ගම්මාන තුල සිටින සියලු ම ක්‍රියාකාරී කණ්ඩායම් දැනුවත් කිරීම වෙනුවෙන් වෙන් කර ඇත. මෙවර ජාතික වැඩසටහන මහනුවර දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින්,ගඟ ඉහළ කෝරළේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයෙහි පවත්වන ලදී